• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තරුණ කිරි ගෙ‍ාවි ව්‍යවසායකයින් බිහි කිරීම මඟින් දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම
- ශ්‍රී ලාංකිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය දියර කිරි හෝ පිටිකිරි ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය නොවීම හේතුවෙන් එම කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. එබැවින් නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්ෂණය භාවිතයෙන් මෙරට කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ තරුණ කිරි ගෙ‍ාවි ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එම වැඩසටහන යටතේ කිරි ගව පාලනයට පූර්ණකාලීනව යොමු විය හැකි තරුණ පිරිස් තෝරාගෙන අවශ්‍ය තාක්ෂණික දැනුම හා සම්පත් ඔවුන්ට ලබා දී දෛනිකව අවම වශයෙන් කිරි ලීටර 100ක් නිෂ්පාදනය කළ හැකි ව්‍යවසායකයින් ලෙස ගොඩනැංවීමට සැලසුම් කර ඇත. මෙවැනි තරුණ ව්‍යවසාය ඒකක 10,000ක් පමණ ඇති කිරීම මඟින් රටේ කිරි නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමක‍ට ගෙන ඒමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ, මධ්‍යම පළාත් සභාවේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ලබාගනිමින්, මෙහි නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත අනෙකුත් ප්‍රදේශවලද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.