• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
- පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවට රෝගී සත්කාර සේවාව සපයනු ලබන ප්‍රධානම රෝහල වේ. හදිසි අනතුරු සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා එම රෝහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, එහි හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදි කිරීමේ කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එහි පළමුවන අදියර වශයෙන් මහල් දෙකක ඉදි කිරීම් කටයුතු අවසන් කර භාර දීමට ආසන්නව පවතී.

ඒ අනුව, එහි දෙවෙනි අදියර යටතේ සිදු කිරීමට නියමිත ඉදි කිරීම් කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම ඉදි කිරීම් කටයුතු, පිරිමැවුම් කර ඉදි කර භාර දීමේ (Design and Built)පදනම මත, රුපියල් මිලියන 643.36ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.