• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ, 2016 වසරේදී සිසුන් 621,941කට පාවහන් ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 592.2ක මුදලක් රජය විසින් වැය කරනු ලැබ තිබේ. මෙම වැඩස‍ටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලැබූ අතර, ඔවුන් සිසුන්ගේ පාදවල ප්‍රමාණය හඳුනාගෙන එම පාදවලට ගැළපෙන පරිදි සපත්තු නිෂ්පාදනය කර පාසල වෙත ගෙන ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලදී. නමුත් ඒ සඳහා මාස 6ක පමණ දීර්ඝ කාලයක් ගතවීම සහ සියලුම පාසල් දරුවන් වෙත එකම අවස්ථාවකදී පාවහන් ලබා දීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගෙන, මේ වසර සඳහා අවශ්‍ය වන පාවහන් ලබා දීමේ දී උක්ත ක්‍රමවේදය වෙනුවට සිසු දරුවන් වෙත පාවහන් තිළිණ පතක් ලබා දීම මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, ඒ ඒ ශ්‍රේණි අනුව පාසල් සිසුන් සඳහා රුපියල් 1,200 සිට රුපියල් 1,500 දක්වා වටිනාකමින් යුත් පාවහන් තිළිණ පත් ලබා දීම මඟින් මෙම වැඩසටහන මේ වසරේදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 808.27ක පමණ පිරිවැයක් දැරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.