• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම පහසුකරණය පිළිබඳ ගිවිසුම (TFA) අනුව ශ්‍රී ලංකාවේ බැඳීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම
- ‍වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු සම්මුතියෙහි ජාත්‍යන්තර වෙළඳාම පහසුකරණය හා සම්බන්ධ වගන්ති පැහැදිලි කිරීමට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම හා නිෂ්කාශනය යන කටයුතු කෙරෙහි ඇති වන බාධා ඉවත් කරලීමේ අරමුණ පෙරදැරිව පහසුකරලීමේ බහුපාර්ශ්වීය ගිවිසුමක් වශයෙන් වෙළඳාම පහසුකරණ ගිවිසුම (Trade Facilitation Agreement - TFA) ඇති කරගනු ලැබ තිබේ. දේශ සීමා හරහා භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම සහ නිෂ්කාශනය කඩිනම් කිරීම මෙම ගිවිසුමෙන් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව විසින් මෙම ගිවිසුමට දැනටමත් අත්සන් තබනු ලැබ ඇති අතර, ඒ යටතේ වන ශ්‍රී ලංකාවේ බැඳීම් ඉටු කිරීම් මඟින් ගෝලීය වෙළඳ පහසුකරණ දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම, ජාත්‍යන්තර වෙළඳාමේ පිරිවැය අඩු කරගැනීම, ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ වඩාත් තරගකාරී වීමට හැකිවීම ඇතුළු වාසි රැසක් අත්කර ගත හැකි වනු ඇත.

ඒ අනුව, ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙළඳාම පහසුකරණය පිළිබඳ ජාතික කමිටුවක් දැනටමත් පත් කරනු ලැබ තිබේ. වෙළඳ පහසුකරණ ගිවිසුමේ විධිවිධානයන්ගෙන් පරිබාහිර වූ අනෙකුත් සක්‍රීය වෙළඳ පහසුකම්කරණ කටයුතුද ඇතුළත් කරමින් එම කමිටුවේ කාර්යභාරය පුළුල් කිරීමටත්, ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම් පහසුකම්කරණ ගිවිසුමෙහි බැඳීම් අනුව කටයුතු කිරීම සඳහා කාර්ය සැලැස්මක් සකස් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.