• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පයිනස් වනවගා, දේශීය ශාක විශේෂ සහිත වනවගා බවට පරිවර්තනය කිරීම
- ක‍ඩදාසි කර්මාන්තය සඳහා අමුද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමේ සහ ජල පෝෂක ප්‍රදේශවල තත්ත්වය පහළ මට්ටමක පවතින ඉඩම්වලට තුරු වැස්මක් ඇති කිරීමේ අරමුණින්, 1960-1990 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පයිනස් වනවගාව ආරම්භ කරනු ලැබ තිබේ. මේ වන විට හෙක්ටයාර 16,000 ක පමණ පයිනස් වනවගාවක් ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයන්හි දක්නට ලැබේ. එයින් කඳුකර ප්‍රදේශවල පිහිටි පයිනස් වනවගාවන්හි යටි රෝපණයක් දක්නට නොලැබීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශයන්හි සංරක්ෂණය සඳහා එම වන වගා මඟින් ලැබෙන්නේ අවම දායකත්වයකි.

එබැවින්, ජල පෝෂක ප්‍රදේශයන්හි පරිසර සංරක්ෂණය සඳහා ඇති කරනු ලැබ ඇති පයිනස් වගාවන් ආශ්‍රිතව දේශීය ශාක විශේෂ වගා කිරීම මඟින් යටිරෝපණයක් වර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එමඟින් එම වන වගාවන්හි පාංශු හා ජල සංරක්ෂණය ඉහළ නැංවීමටත්, ජෛව විවිධත්වය වර්ධනය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය වනාන්තර තිරසර කළමනාකරණය සහ පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර යටතේ ඉදිරි වර්ෂ තුනක (03) කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.