• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කලා-සංස්කෘතික ප්‍රතිපත්තියක් බලගැන්වීම
- රටක සාමූහික මහජන විඥානය සකස් වීම කෙරෙහි කලා සංස්කෘතික ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා ආගමික ක්ෂේත්‍රය ඍජුවම බලපාන සාධක වේ. ඒ අතුරින්, සමාජය සුවපත් කිරීම සම්බන්ධයෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කිරීමෙහි ලා කලා-සංස්කෘතික ක්ෂේත්‍රය තීරණාත්මක වේ. නව කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව තුළ නව සංස්කෘතික නවෝදයක් ඇති කර ලීම සඳහා සම්මානනීය කලාකරුවන් හා විද්වතුන් පිරිසක් විසින් මූලාරම්භයක් ගනු ලැබ තිබේ.

කලාව හා සංස්කෘතියට අදාළව මෙරට ජනතාවගේ දැක්ම, තේරුම් ගැනීම හා භාවිතය පුළුල් කිරීම මඟින් සංස්කෘතික වශයෙන් එකිනෙකා හා අනෙකුත් ප්‍රජාවන් සමඟ සහානුබද්ධ පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, අදාළ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව මේ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා සංස්කෘතික පුනර්ජීවනය සඳහා වූ ජාතික මෙහෙයුම් ඒකකයක්, ජනාධිපති කාර්යාලයට අනුයුක්තව ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.