• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෞවනයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි වන සේ පරිපූරක ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම සඳහා නීති සැකසීම
- 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි, සෑම වර්ෂයකම ජුනි මස 01වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ ඇති පුරවැසියෝ ඡන්දහිමියන් වශයෙන් ලියාපදිංචි කෙරෙති. ඒ සඳහා ඡන්දහිමි නාමලේඛනය වාර්ෂිකව ප්‍රතිශෝධනය කෙරෙන අතර, එම ක්‍රියාවලිය සඳහා මාස 06ක පමණ කාලයක් ගත වේ. යම් වර්ෂයක ජුනි මස 01වන දින ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර එය සකසා සහතික කිරීමට පෙර කාලසීමාව තුළ කිසියම් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වුවහොත් එවැනි අවස්ථාවලදී ඊට පෙර වර්ෂය සඳහා සකස් කරන ලද ඡන්දහිමි නාමලේඛනය අදාළ කරගන්නා බැවින් ඡන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද නවක ඡන්දහිමියන්ට එවැනි ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මඟ හැරේ.

එබැවින් යම්කිසි ඡන්දහිමි නාමලේඛනයක් සහතික කිරීමෙන් පසු ඊළඟ වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කරනු ලබන තෙක් අතර කාලසීමාව තුළදී වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන තැනැත්තන්ගේ නම් ඒ වනවිටත් සහතික කරනු ලැබ ඇති ඡන්දහිමි නාමලේඛනයට අප්‍රමාදව ඇතුළත් කිරීම මඟින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සඳහා පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ සඳහා විධිවිධාන සැලසීමට 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.