• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 නොවැම්බර් මස මුල් සතියේ පැවති පෙට්‍රල් හිඟය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
- මහජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා බාධාවක් වන පරිදි 2017 නොවැම්බර් මස මුල් සතියේ රට තුළ පැවති පෙට්‍රල් හිඟය සහ එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූ කරුණු, ඊට වගකිව යුතු පාර්ශ්ව හඳුනාගැනීම, එවැනි තත්ත්වයන් ඉදිරියේදී නැවත ඇති වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ පරීක්ෂා කර බැලීම පිණිස පත් කරන ලද, සිය ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, ඛනිජ තෙල් තොග කළමනාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පවතින දුර්වලතා හදිසි පෙට්‍රල් හිඟයක් ඇති වීමට මූලික වශයෙන් හේතු වී ඇති බව හඳුනාගනු ලැබ ඇති අතර, මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නිශ්චිතවම වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීම පිණිස ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම සහිත නිලධාරින් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර වාර්තාවක් ලබාගැනීම යෝග්‍ය බවත් එමඟින් නිර්දේශ කරනු ලැබ තිබේ. එසේම මෙවැනි තත්ත්වයන් අනාගතයේදී ඇති වීම වැළැක්වීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශද එමඟින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ පරිදි ඉදිරි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.