• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ණය ආධාර ලබාගැනීම
- වයඹ, උතුරු මැද හා උතුර යන පළාත්වල කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතා සහ වාණිජ කටයුතු සඳහා මහවැලි ජලය ලබා දෙමින් එම ජලය ඵලදායී ලෙස භාවිතා කිරීම ඉහළ නැංවීමේ අරමුණින් මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි දෙවන අදියර යටතේ මොරගහකන්ද සහ හුරුළුවැව ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර 62ක් දිග ඉහළ ඇළහැර ඇළ මාර්ගයේ උමං ඇළ මාර්ග කොටස ඉදි කිරීම, කළුගඟ හා මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන උමං සහිත ඇළ මාර්ගය ඉදි කිරීම සහ මහකිරුළ ජලාශයන්හි සහ මහකිතුල පිවිසුම් උමං මාර්ගයෙහි ඉතිරි ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම දෙවන අදියර සඳහා සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 242ක් වන අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 32ක දායකත්වයක් ශ්‍රී ලංකා රජය මඟින් දරනු ලබයි. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 210ක මූල්‍ය අවශ්‍යතාව ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ණය මුදලක් ලෙස ලබාගැනීමට නියමිතය. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, එම බැංකුව සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.