• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම
- ගැටුම් පැවති කාලසීමාවේදී අත් අඩංගුවට ගන්නා ලද හා සිය කැමැත්තෙන් භාර වූ නොමඟ ගිය එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන ලද අතිවිශෙෂ ගැසට් නිවේදනයක් මඟින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය 2006 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී. නොමඟ ගිය සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේදී එම කාර්යාංශය දක්වන ලද සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම ද එම කාර්යාංශය වෙත පවරනු ලැබ ඇති අතර, මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,774 දෙනෙකු පමණ පුනරුත්ථාපනය කර සමාජගත කරනු ලැබ තිබේ.

අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමු කරනු ලබන නොමඟ ගිය සටන්කරුවන්, අන්තවාදී හෝ විනාශකාරී ක්‍රියාවල නිරතවූවන්, මත්ද්‍රව්‍ය හා විෂ ඖෂධවලට ඇබ්බැහිවූ තැනැත්තන් ආදීන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට හා ඔවුන් සම්බන්ධ පසු විපරම් සිදු කිරීමට විධිවිධාන සලසමින්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, පාර්ලිමේන්තු පනතක් මඟින් විධිමත් පරිදි සංස්ථාපනය කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.