• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
- 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත මඟින් නේවාසික සහ කෘෂිකාර්මික කාර්යයන් සඳහා ගොවි ප්‍රජාවටත්, මහා පරිමාණ කෘෂිකාර්මික කාර්යයන් සඳහා මධ්‍යම පාන්තිකයන්ටත් රජයේ ඉඩම් ලබාගැනීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කරනු ලැබිණි. සමාජ හා ආර්ථික වෙනස්වීම් සැලකිල්ලට ගෙන, පසුකාලීනව මෙම ආඥාපනත වරින් වර සංශෝධනය කරනු ලැබ තිබේ. මහජන නියෝජිතයින්, පොදු ජනතාව හා විවිධ සංවිධාන විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, වර්තමාන සමාජ අවශ්‍යතා මත පදනම්ව මෙම ආඥාපනතට තවදුරටත් සංශෝධන හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, වඩාත් ලිහිල් කොන්දේසි ඇතුළත් දීමනා පත්‍රයක් හඳුන්වා දීම, දීමනාපත්‍ර යටතේ පදිංචිය සඳහා ලබා දෙන ලද ඉඩම් වෙනත් පරමාර්ථ සඳහා පරිහරණය කිරීමට ඉඩ සැලසීම, පසු අයිතිය නම් නොකර දීමනා පත්‍රකරුවෙකු මියගිය අවස්ථාවකදී ඔහුට අයත් දීමනා පත්‍ර දේපළෙහි උරුමය සාමාන්‍ය සිවිල් නීතිය යටතේ හිමිවන පරිදි විධිවිධාන සැලසීම ඇතුළු සංශෝධන හඳුන්වා දෙමින් ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.