• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ගුවන්තොටුපොළෙහි ගුවන් යානා පියාසර පුහුණු පාසලක් ස්ථාපිත කිරීම
- මඩකලපුව ගුවන්තොටුපොළ වඩාත් ක්‍රමවත් ලෙස සිවිල් ගුවන් සේවා මෙහෙයුම් සඳහා විවෘත කිරීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාමීව දේශීය සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ ඇතිවිය හැකි නව පිබිදීම හේතුවෙන් නැඟෙනහිර පළාතේ ආර්ථික කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් සිදු වෙතැයි අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් පියාසර කටයුතු සඳහා එම ප්‍රදේශයේ පවතින සුදුසු කාලගුණ තත්ත්වය, මඩකලපුව ගුවන්තොටුපොළෙහි සිට කිලෝමීටර 135ක අරයක් තුළ දේශීය ගඟන යාත්‍රාංගණ 05ක් පිහිටා තිබීම සහ ගුවන් යානා තදබදය අඩු, නිදහස් ගුවන් අවකාශයක් තුළ මෙහෙයුම් සිදු කළ හැකි වීම යනාදී වාසිදායක කරුණු සැලකිල්ලට ගෙන, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම හා ගුවන් යානා පියාසර පුහුණු පාසලක් පිහිටුවීම සඳහා M/s. Skurai Aviation ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.