• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම
- ශීඝ්‍ර කාර්මීකරණය හමුවේ ඉහළ යන රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානව සෞඛ්‍යයට හා පරිසරයට සිදුවන බලපෑම අවම කරගැනීම කෙරෙහි බොහෝ රටවල්වල අවධානය යොමු වී තිබේ. මී‍ට අදාළව ඇති කරගනු ලැබ ඇති බාසල් සම්මුතිය (Basel Convention), ස්ටොක්හෝම් සම්මුතිය (Stockholm Convention), රොටඩෑම් සම්මුතිය (Rotterdam Convention) හා මිනමාටා සම්මුතිය (Minamata Convention) යන ජාත්‍යන්තර සම්මුතීන්ට ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවෙක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත ආශ්‍රිත ආයෝජන දිරි ගැන්වීමේදී පරිසරයට හානියක් නොවන පරිදි රසායනික ද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස භාවිත කෙරෙන බව තහවුරු කරගැනීම සඳහා පියවර ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වකරුවන් සහභාගි කරගනිමින් ශ්‍රී ලංකාව තුළ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.