• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ප්‍රතිසංස්කරණය කිරීම
- පසුගිය මැයි මස ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගොඩනැඟිලිවලට හා උපකරණවලට දැඩි ලෙස හානි සිදු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන්ගේ පුහුණු පාඨමාලා නියමිත කාලසීමා තුළ අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් පාසල්වලට අනුයුක්ත කිරීම ද ප්‍රමාද වී තිබේ.

එබැවින්, හානියට පත් එම ගොඩනැඟිලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය කිරී‍ම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමට චෙක් ජනරජය එකඟ වී තිබේ. ඒ අනුව, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුතු මූල්‍යාධාර ලබාගැනීම සඳහා චෙක් ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.