• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඌන උපයෝජිත ඉඩම් යොදාගැනීම
- කුඹුරු ඉඩම්, වෙනත් කෘෂිකාර්මික ඉඩම් හා වන රක්ෂිතයන් වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති නීති හේතුවෙන් ඇතැම් ඌන උපයෝජිත ඉඩම් සංවර්ධන කටයුතුවලට යොදාගැනීමේදී යම් යම් බාධා මතු වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම ශීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශවල මානව ජනාවාස සංවර්ධනය සඳහා ඉඩම් යොදාගැනීමේදී මිනින්දෝරු පිඹුරේ සඳහන් කර ඇති ඉඩම් කොටසක නම 'වෙල', 'කුඹුර' හෝ 'දෙණිය' යන වචනවලින් අවසන් වන්නේ නම් හා එම ඉඩම් සත්‍යවශයෙන්ම වගා කළ නොහැකි වුවත් එම ඉඩම් නිවාස ඉදි කිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට අපහසු වී ඇත. ඒ හේතුවෙන් ඌන උපයෝජිත ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම පිණිස කඩිනම් ක්‍රමවේදයක් සකස් කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මී‍ට පෙර නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එම නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි, එවැනි ඌන උපයෝජිත ඉඩම් නිවාස ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගැනීමේදී ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් පත් කර අදාළ ආයතනවල නිලධාරින් සමඟ කඩිනමින් ක්ෂේත්‍ර පරීක්ෂණ කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතීන් ලබා දීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.