• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit - LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.