• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 වර්ෂය, 'ආහාර නිෂ්පාදන වර්ෂය' ලෙස ප්‍රකාශයට පත් කිරීම
- සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැනක් අරමුණු කරගනිමින් 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන - 2016 - 2018' ආරම්භ කරන ලද අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200කට වැඩි විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට වැය කිරීමට සිදුව ඇති නිසා දේශීයව නිෂ්පාදනය කළ හැකි සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක්ම නිෂ්පාදනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු විය. එසේ වුවද, පසුගිය වගා කන්න කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, එම තත්ත්වය මඟහරවා ගනිමින් ආහාර නිෂ්පාදන කටයුතු නව ප්‍ර‍බෝධයකින් සිදු කිරීම අරමුණු කරගනිමින් 'ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය' පසුගියදා ආරම්භ විය.

කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සඳහා පිළියම් ලබා දෙමින් ඒ සඳහා වූ ප්‍රතිපත්තිමය හා තාක්ෂණික මඟපෙන්වීම ලබා දීමත්, කෘෂිකර්මාන්තයට අදාළව අපගෙන් ගිලිහී යමින් පවතින අභිමානය නැවත ළඟා කරගැනීමත්, ගොවිජනතාව මුහුණ දී ඇති අසීරු තත්ත්වයෙන් ඔවුන් මුදා ගනිමින් රටේ සංවර්ධනයේ පෙර ගමන්කරුවන් කරමින් තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ලීමත් සාමූහික ප්‍රවේශයක් යටතේ මෙමඟින් ළඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ කරගනිමින් ආහාර නිෂ්පාදන සංග්‍රාමය මෙහෙය වීමටත්, ඊට අදාළ වන පරිදි ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙමින් 2018 වර්ෂය, 'ආහාර නිෂ්පාදන වර්ෂය' ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කරන බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.