• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි' ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම
- යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන එකම ආයතනය යාපනය තාක්ෂණ විද්‍යාලය වේ. මෙහි පාඨමාලා සඳහා වර්ෂයකට අයදුම්පත් 8,000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1,500කට පමණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීසාලෙයි උතුර, තෙන්මාරච්චි, වලිකාමම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 හා 4 මට්ටම්වල වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් එමඟින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 560ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි දෙවසර තුළ එම කාර්මික විද්‍යාලය ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.