• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුම
- කටාර් රාජ්‍යය, ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන පෙළේ රටක් වන බැවින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත අභියෝග ජය ගැනීමේදී කටාර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අව‍බෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී ඇත. නුදුරු දිනකදී අතිගරු ජනාධිපතිතුමා විසින් කටාර් රාජ්‍යයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.