• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව සිර මැදිරියක් මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීම
- මන්නාරම පිහිටි අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු සැකකරුවන් වර්තමානයේ වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබනු ලබන අතර, කිලෝමීටර 85ක පමණ දුර ප්‍රමාණයක් ගෙවා දමමින් වව්නියාව බන්ධනාගාරයේ සිට මන්නාරම අධිකරණය වෙත දෛනිකව ඔවුන් රැගෙන යාම සහ රැගෙන ඒම අපහසු කාර්යයක් වේ. එබැවින් අදාළ නඩු දිනයට ‍පෙර දින මන්නාරම ප්‍රදේශයට ඔවුන් රැගෙනවිත් එහි පිහිටි රේගු දෙපාර්තමේන්තුවට අයත් ‍ගොඩනැඟිල්ලක තාවකාලිකව රඳවා තබනු ලබන අතර, එම ගොඩනැඟිල්ල ඉතා පැරණි බැවින් රැඳවූවන් සඳහා සැලසිය යුතු අවම පහසුකම් හෝ සලසා දීමට දුෂ්කර වී ඇත.

එබැවින්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ස්ථිර සිර මැදිරියක් මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මන්නාරම අධිකරණ සංකීර්ණයට යාබදව උප්පුකුලම (දකුණ) ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත මුදා හරිනු ලැබ ඇති ඉඩම් කොටසෙහි සිර මැදිරියක් අලුතින් ඉදි කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.