• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංගාධාර සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
- සංරක්ෂණය කළ යුතු භූමි ප්‍රදේශ ජනගහණ වර්ධනය නිසා අවිධිමත් ලෙස භාවිතයට ගැනීමත්, නාගරීකරණය හා කාර්මීකරණයත් හේතුවෙන් මතු වී ඇති ගැටලුවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ ගංගාධාර හා ජල පෝෂක ප්‍රදේශ මනා ලෙස සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතු වී තිබේ. කැළි කසළ හා විවිධ රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ගංගා ජලය අපවිත්‍ර වීම, ගංගාවන් තුළ වැලි, මැණික්, මැටි ආදී විවිධ ඛනිජ වර්ග සඳහා කැණීම් සිදු කිරීම නිසා සිදුවන පතුල ගැඹුරු වීම හා ඉවුරු ඛාදනය, අවිධිමත් ඉදි කිරීම් ආදී විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගාවන්හි ගමන් මඟ වෙනස් වීම, ගංගා රක්ෂිත ප්‍රදේශ තුළ සිදු කෙරෙන විවිධ සංවර්ධන කටයුතු හේතුවෙන් ජෛව පරිසරය තර්ජනයට ලක්වීම ආදී ගැටලු පාලනය කිරීම සඳහා විධිමත් ආයතනික ව්‍යූහයක් ස්ථාපිත කළ යුතු වේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ ගංගාධාර හා ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සහභාගිත්ව කළමනාකරණ ප්‍රවේශයක් යටතේ සිදු කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, ඒ සඳහා අදාළ සියලු අමාත්‍යාංශ හා ආයතන නියෝජනය වන පරිදි සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමතිය ලබා දෙන ලදී.