• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංක්‍රමණික මෝර මත්ස්‍යයින් සංරක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුම
- සංක්‍රමණික සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතියට (Convention on the Conservation of Migratory Species of Wild Animals) ශ්‍රී ලංකාව 1993 වර්ෂයේ සිට පාර්ශ්වකරුවෙක් වේ. ඒ අනුව, එම සම්මුතිය යටතේ ලැයිස්තුගත කරනු ලැබ ඇති සංක්‍රමණික සත්ත්ව විශේෂයන්ගේ ආරක්ෂාව මෙරට බලසීමාව තුළදී සහතික කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි. හඳුනාගත් සංක්‍රමණික සත්ත්ව විශේෂ හෝ කණ්ඩායම් ආවරණය වන පරිදි රාජ්‍යයන් අතර ජාත්‍යන්තර හෝ කලාපීය මට්ටමේ ගිවිසුම් ඇති කරගැනීම එම සම්මුතිය මඟින් දිරිමත් කරනු ලැබේ.

ඒ අනුව, 2017 වර්ෂයේ ඔක්තෝබර් මස 22 සිට 28 දක්වා පිලිපීනයේ මැනිලාහිදී පැවැත්වීමට නියමිත එම සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සමුළුවේදී, සංක්‍රමණික මෝරුන් සංරක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. සංක්‍රමණික මෝර විශේෂ සංරක්ෂණය සඳහා මූල්‍යමය හා තාක්ෂණික ආධාර සලසා ගැනීමට මෙම ගිවිසුම ඉවහල් වනු ඇත. එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.