• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
- වර්තමානයේ මෙරට ජාතික ශ්‍රම බලකාය තුළ කාන්තා ශ්‍රම දායකත්වය සියයට 36ක් පමණක් වන අතර, දරුවන් රැක බලාගැනීමේ වගකීම නිසා කාන්තාවන් තමන් නියැළී සිටින රැකියාවලින් ඉවත් වීම හෝ රැකියා වෙත යොමු වීමට උනන්දු නොවීම එම දායකත්වය තවදුරටත් වැඩි කිරීම සඳහා පවතින බාධාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. සාධාරණ මිලකට ලබාගත හැකි උසස් තත්ත්වයේ දිවා සුරැකුම් පහසුකම් රට තුළ සංවර්ධනය කිරීම මඟින්, විශේෂයෙන්ම ඉහළ අධ්‍යාපන මට්ටමකින් යුත් කාන්තාවන් සැලකිය යුතු පිරිසකගේ දායකත්වය රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි බැවින් මෙම අංශය නඟා සිටුවීම සඳහා තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු බව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ ‍පෞද්ගලික අංශය මඟින් පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1,200ක දරුවන් 24,000ක් පමණ රැකවරණය ලබන බව අනාවරණය වී තිබේ. ඒ අනුව, මෙම ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගනිමින් ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් පහසුකම් තවදුරටත් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා රාජ්‍ය, පළාත් සභා, රාජ්‍ය නොවන හා පෞද්ගලික යන අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.