• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීම
- මහජනතාව සතු පරමාධිපත්‍ය බලයේ අංගයක් වන සර්වජන ඡන්ද බලය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද විමසීම් නිදහස්ව හා සාධාරණව පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. යම් ඡන්ද විමසීමක් නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට නම් ජනතා කැමැත්ත බලපෑමකින් තොරව ප්‍රකාශ වීම තහවුරු කළ යුතු අතර, කිසියම් දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු විසින් මහජන ඡන්දය ලබාගනු පිණිස පාලනයකින් තොරව අධික ලෙස මුදල් වැය කරන්නේ නම් එය ජනතා කැමැත්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හේතු වේ.

ඉන්දියාව ඇතුළු රටවල් බොහොමයක් විසින් ජනමතය නිසි ලෙස ප්‍රකාශ කිරීම සහතික කිරීම සඳහා මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිරීති පනවනු ලැබ ඇති අතර, මැතිවරණවලදී නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම දූෂණ ක්‍රියා ඇතිවීම අවම කිරීමටද එවැනි පාලනයක් තිබීම ඉවහල් වන බව පෙනී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ 1977ට පෙර පැවති මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් වාර්තා ලබාගැනීමේ නීති ක්‍රියාත්මක වූ නමුත් වර්තමාන මැතිවරණ ක්‍රමය යටතේ එබඳු විධිවිධාන සැලසී නොමැත. පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්, නියෝජිතයින් හා නීතිවේදීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විධිවිධාන සැලසීමේ අවශ්‍යතාව පිළිබඳව මූලික එකඟතාවන්ට එළඹ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබ තිබේ.

ඒ අනුව, ඡන්ද විමසීම්වලදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන මැතිවරණ වියදම් පිළිබඳ වාර්තා ලබාගැනීමට හා එකී වියදම් සඳහා සීමා පැනවීමට හැකිවන පරිදි පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීමට හා අලුතින් නීති පැනවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.