• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විගණන පනත් කෙටුම්පත
- ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් සහ අනෙකුත් රටවල්වල පවතින මීට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට 2017‑08‑15 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, එම අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ සහ අනෙකුත් නිරීක්ෂණවලට අනුකූල වෙමින්, විගණන සේවා කොමිෂන් සභාව විසින් වාර්තා කරනු ලබන අවස්ථාවක, යම් රජයේ නිලධාරියෙකුගේ නොසැලකිල්ල, අවභාවිතය, වංචාව හෝ දූෂණය හේතුවෙන් රජයට සිදු වන යම් අලාභයක්, අදාළ නිලධාරියාගෙන් අධිභාරයක් ලෙස අය කරගැනීමේ බලතල, එම නිලධාරියා සේවය කරන ආයතනය අයත්වන අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම, එවැනි අධිභාරයකට යටත් කෙරෙන යම් රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු කරනු ලබන අභියාචන විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලැබීමට නියමිත 'අධිභාර අභියාචන කමිටුව' සඳහා රාජ්‍ය පරිපාලනය සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රයන් නියෝජනය කරන තැනැත්තන් දෙදෙනෙකුද ඇතුළත් කරමින් එම කමිටුව පුළුල් කිරීම ඇතුළු යෝජිත සංශෝධන ඇතුළත් කරමින් ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.