• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය
- 2016 වර්ෂයේදී පවත්වන ලද දීපව්‍යාප්ත නිවාස අවශ්‍යතා සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 216,197ක් වෙසෙන බව හඳුනාගෙන තිබේ. එම ජනතාවට නිවාස අයිතිය ලබා දීම සඳහා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය විසින් 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන්, ඉතා ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමට ඉලක්ක කර තිබේ.

එම වැඩසටහන් සාර්ථක කරගැනීමේදී නව ජනාවාස ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් ස්ථාපනය කිරීම මෙන්ම විදුලිබලය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂිත ආදර්ශ ගම්මාන 2,500 සඳහා අවශ්‍ය ඉහත සඳහන් පහසුකම් සලසා දීම කෙරෙහි රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමුඛතාව ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.