• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එහි උප ව්‍යාපෘතියක් වන විසල් පොළොන්නරුව උපනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගල්ලෑල්ල ජල පවිත්‍රාගාරයේ සිට යෝජිත පොළොන්නරුව උරුම නගරය, වාණිජ නගරය, පරිපාලන නගරය හා වකුගඩු රෝහල සදහා අවශ්‍ය අතිරේක ජල සැපයුම සම්පාදනය කෙරෙනු ඇත.

මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යාන්ත්‍රික හා විදුලි උපකරණ සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 154ක මුදලකට M/s. K P Projects International (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.