• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තහනම් උත්තේජක භාවිතයෙන් තොර ක්‍රීඩා ජයග්‍රහණ ළඟා කර ගැනීම
- ක්‍රීඩාවේ පවතින දැඩි තරගකාරීත්වය හා වාණිජමය මුහුණුවර හේතුවෙන් තහනම් උත්තේජක ද්‍රව්‍ය අඩංගු පෝෂණ අතිරේක දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව භාවිත කිරීමේ ප්‍රවණතාවක් වර්තමාන ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අතර දක්නට ලැබේ. මෙහි අනිටු විපාක ඉදිරි ජාත්‍යන්තර තරගවලදී මතු වීමට ඉඩ ඇති බැවින්, එම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු වේ. එබැවින්, ජාතික හා පාසල් මට්ටමේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට, පුහුණුකරුවන්‍ට මෙන්ම ක්‍රීඩා කළමනාකරුවන්ටද තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම පිළිබඳව දැනුම ලබා දීම යෝග්‍ය වේ.

ඒ අනුව, ක්‍රීඩාවේ ජීවගුණය රැකගනිමින් තහනම් උත්තේජකවලින් තොර ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, තහනම් උත්තේජක භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමේ පහසුකම් ඇති කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය වෙත වෙන් කරගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.