• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පශු විමර්ශන මධ්‍යස්ථානවල කුකුළු හා මත්ස්‍ය රෝග හඳුනාගැනීම සහ ආවේක්ෂණය සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම
- කුකුළු පාලනය, ඉස්සන් වගාව සහ සුරතල් මත්ස්‍ය වගාව යන කර්මාන්තයන්හි ඉහළ වර්ධනයක් පසුගිය කාලසීමාව තුළ ඇති වී තිබෙන අතර, විශේෂයෙන් ඉස්සන් හා සුරතල් මත්ස්‍ය වගාව විදේශ විනිමය ලබා දෙනු ලබන අංශයක් වේ. මෙම ක්ෂේත්‍රයන්ට විවිධ රෝග ඇතුළු වීම පාලනය කිරීම, රෝග හඳුනා ගැනීම හා ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා පහසුකම් ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් වේ.

එබැවින් එම කර්මාන්තයන්හි සංවර්ධනයට දායක වීමේ අරමුණින්, කුකුළු හා මත්ස්‍ය රෝග හඳුනාගැනීම සහ ආවේක්ෂණය සඳහා වාරියපොළ, හලාවත සහ වැලිසර යන ප්‍රදේශවල පිහිටි පශු විමර්ශන මධ්‍යස්ථානවල රසායනාගාර පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව වැඩිදියුණු කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, එම මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිටින පශු වෛද්‍යවරුන් සඳහා මත්ස්‍ය රෝග නිවාරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දීමේ වැඩපිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සකස් කිරීමටත් තීරණය කරන ලදී.