• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හයි‍ඩ්‍රොෆ්ලෝරොකාබන් (Hydroflurocarbons - HFC) අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයට සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම
- ඕසෝන් ස්තරයට හානි පමුණුවන රසායනිකයන් භාවිතය නියාමනය කර ඒවා ක්‍රමානුකූලව හා අදියරගතව භාවිතයෙන් ඉවත් කිරීම සඳහ‍ා ලෝක ප්‍රජාව විසින් 1987 වර්ෂයේදී මොන්ට්‍රියල් සන්ධානය ඇති කරගන්නා ලදී. ශ්‍රී ලංකාව එම සන්ධානයට පාර්ශ්වකරුවකු වන අතර, එම සන්ධානය සඳහා වරින් වර සිදු කරනු ලැබ ඇති සංශෝධනයන්ටද අනුකූලතාව දක්වනු ලැබ තිබේ. මොන්ට්‍රියල් සන්ධානය සඳහා සිදු කළ අවසන් සංශෝධනය 2016 වසරේ ඔක්තෝබර් 15 වන දින රුවන්ඩාවේ, කිගාලිහිදී සිදු කරනු ලැබ ඇති අතර, එහිදී ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කිරීම සඳහා 2050 වර්ෂය වන විට ගෝලීය උණුසුමට දායක වන හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) වැනි ඕසෝන් ප්‍රහීනකාරක රසායන ද්‍රව්‍ය භාවිතය අදියරගතව සීමා කිරීම පිණිස සියලු පාර්ශ්ව එකඟ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට හා ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි හයිඩ්‍රොෆ්ලෝරොකාබන් භාවිතය සීමා කිරීමට අවශ්‍ය කටයුතු හා දැනුම්වත් කිරීම් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති බව සැලකිල්ලට ගනිමින් කිගාලි සංශෝධනය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීමටත්, ඒ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.