• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය
- දිවයින තුළ හැකි උපරිමයෙන් ආහාර නිෂ්පාදනය සිදු කර ආනයන සීමා කිරීමත්, ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කිරීමත් ප්‍රධාන අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පසුගිය වගා කන්න කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇත. එම තත්ත්වය මඟහරවා ගනිමින් 2017-2018 මහ කන්නයේ ආහාර නිෂ්පාදනය නව ප්‍රබෝධයකින් යුතුව ආරම්භ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, ගොවි ජනතාව සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් 'ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය' නමින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අදාළ සියලු පාර්ශවවල සහභාගිත්වය හා අවධානය ලබාගත හැකි වන පරිදි එහි ආරම්භක සතිය වන 2017 ඔක්තෝබර් මස 06වන දින සිට 12වන දින දක්වා කාලය තුළ දිවයින පුරා විශේෂ ක්‍රියාකාරකම් දියත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.