• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා රෝහල් ඉඩමේ පදිංචි අනවසර පදිංචිකරුවන් නිවාස ලබා දී වෙනත් ස්ථානයක පදිංචි කරවීම
- ඇඳන් 2,402කින් සමන්විත මහනුවර ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රෝහල වේ. වාර්ෂිකව රෝගීන් 1,600,000කට පමණ ප්‍රතිකාර කරනු ලබන මෙම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩකඩ සීමිත වීම ප්‍රධාන ගැටලුවක් වේ. මෙම රෝහල සතු ඉඩම් ප්‍රමාණය අක්කර 58.4ක් වුවද ඉන් අක්කර 23.7ක් පමණ අනවසර පදිංචිකරුවන් විසින් අත් කරගෙන සිටීම නිසා මෙම රෝහල තුළ අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට බාධා එල්ල වී ඇත. මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධන සැලැස්ම යටතේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහ‍ා අවශ්‍ය එම ඉඩම් නැවත ලබාගැනීමටත්, 2018 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කිරීමට නියමිත ප්‍රතිපාදන යොදා ගනිමින් ඉන් බලපෑමට ලක්වන අඩු ආදායම් ලාභී අනවසර පදිංචිකරුවන් සඳහා රෝහල් භූමියේ වෙනත් කොටසක නිවාස 66කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදි කර එහිදි නිවාස වෙන් කර දීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා;සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා; සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා; නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා; සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.