• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සම්මාන උත්සව හා වෙනත් සමරු උත්සව සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීම
- මෙරට සංස්කෘතික උරුම සංරක්ෂණ, ප්‍රවර්ධනය හා ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් විවිධ රාජ්‍ය සම්මාන උළෙල 15ක් හා විවිධ උත්සව සැමරුම් රැසක් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මින් අතැම් රාජ්‍ය සම්මාන උත්සව අඩසිය වසකට වැඩි කාලයක් ඉක්මවා පවත්වාගෙන එනු ලබන අතර, ගුණාත්මක තත්ත්වයෙන් හා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිර්මාණ සම්ප්‍රදායක් බිහි කිරීම සඳහා එය ඉමහත් පිටුබලයක් වී ඇත.

මෙම රාජ්‍ය සම්මාන උත්සවවලදී සම්මානලාභීන් වෙත ලබාදෙනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් බොහෝ කලකින් ඉහළ නංවා නොමැත. එමෙන්ම, මෙවැනි උත්සව සංවිධාන කටයුතු සඳහා වන පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් කලක් සම්මානයට පාත්‍ර නොවූ ප්‍රධාන කලා ක්ෂේත්‍ර කිහිපයක් සඳහා අලුතින් රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීමට කටයුතු කෙරෙන බැවින් ඒ සඳහා ද අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී ඇත. එබැවින්, විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය සම්මාන උත්සව සඳහා භාණ්ඩාගාරය මඟින් දැනට වාර්ෂිකව වෙන් කරනු ලබන රුපියල් මිලියන 55ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 100ක් දක්වා ඉහළ නැංවීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.