• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල පළාත් මහ රෝහලේ, සහාය සායනික සේවාවන් සහිතව හෘද කැතීටකරණ රසායනාගාරයක් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ ජනතාව හෘද රෝගවලට ලක්වීමේ අවදානම වර්තමානයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එබැවින්, රෝහල්වල හෘද රෝග ප්‍රතිකාර ඒකකයන්හි පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ. හෘද රෝග සඳහා‍ විශේෂ ප්‍රතිකාර සේවා සපයනු ලබන, ඌව පළාතේ පිහිටි එකම රෝහල බදුල්ල පළාත් මහ රෝහල වේ. වාර්ෂිකව රෝගීන් 10,000 ක් පමණ මෙහි හෘද රෝග සායන සඳහා පැමිණෙන අතර, ඉන් 1,500 ක් පමණ හෘද රෝග ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කෙරේ. ‍එම හෘද රෝගීන්ගෙන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් රෝග විනිශ්චය සඳහා හෘද කැතීටකරණයට භාජනය කිරීම අවශ්‍ය වුවත් දැනට එම රෝහලේ පවතින පහසුකම් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍යාධාර යටතේ රුපියල් මිලියන 698 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් අදාළ සායනික ප්‍රතිකාරයන් ද සහිතව හෘද කැතීටකරණ රසායනාගරයක් සහ දැඩි සත්කාර ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.