• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය වැඩි දියුණු කිරීම
- ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලට හේතුවන දෙවන ප්‍රධානතම සාධකය බවට පිළික‍ා රෝගය පත්ව තිබේ. පිළිකා රෝගීන් සංඛ්‍යාවේ මෑතකාලීන ඉහළයාම සැලකිල්ලට ගනිමින් එම රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර සේවා සපයන දකුණු පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල වන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය වැඩිදියුණු කළ යුතුව තිබේ.

ඒ අනුව, එම රෝහලේ දැනට පවතින පිළිකා ප්‍රතිකාර සේවා පහසුකම් පුළුල් කිරීම සඳහා එහි බාහිර රෝගී අංශය, අයඩින් ප්‍රතිකාර ඒකකය, සායන, පිළිකා ප්‍රතිකාර ඒකක 03ක්, පිළිකා-ශල්‍ය හා ළමා පිළිකා ප්‍රතිකාර ඒකක, රසායනාගාරයක් සහ ශ්‍රවණාගාර පහසුකම් ඇතුළත් මහල් 10කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා රුපියල් මිලියන 2,000ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව ඇස්තමේන්තුගත කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබා දීමට Colors of Courage Trust (COC) නැමැති පුණ්‍යායතනය ඉදිරිපත් වී ඇති අතර, දිවයින පුරා පාද යාත්‍රා (Trail) කරමින් එම ආයතනය විසින් එක් රැස් කරනු ලැබ ඇති මූල්‍යාධාර මේ සඳහා යෙදවීමට අපේක්ෂිතය. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම සඳහා ඉදි කිරීමට යෝජිත දසමහල් ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ Colors of Courage Trust (COC) පුණ්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.