• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ මෙහෙවර උදෙසා විද්‍යා තාක්ෂණ (STS) සම්මන්ත්‍රණය
- සංවර්ධිත ලෝකයේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයන්හි ඇති වී ඇති ප්‍රගතිය ඇසුරින් ප්‍රතිලාභ අත්පත් කර ගැනීම සහ ජාතික සංවර්ධන ක්‍රියාදාමය තුළට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම දායක කර ගැනීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව 'ශ්‍රී ලංකා සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය' 2016 වර්ෂයේදී ප්‍රථම වරට පවත්වන ලද අතර, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ සහාය මෙරට විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා යොදා ගැනීමේ මූලාරම්භයන් ඇති කර ගැනීමට එහිදී හැකි වී ඇත.

එම පළමු සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය සැළකිල්ලට ගෙන මෙම ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව හා සහයෝගයෙන් කටයුතු කරන අනෙකුත් රටවල්වල හා ජාත්‍යන්තර සංවිධානයන්හි නියෝජිතයන්, විදේශයන්හි වෙසෙන විශිෂ්ට ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණඥයින්, නව නිපයුම්කරුවන්, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් ඇතුළු 1000 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එය දෙවන වරටත් පැවැත්වීමට යෝජනා වී තිබේ. මෙහිදී, ආර්ථික සංවර්ධනයට උරදෙන නැගී එන තාක්ෂණයන් හඳුනාගැනීම, තිරසර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ නවෝත්පාදනයන් යොදා ගැනීම ඇතුළු තේමාවන් සාකච්ඡා කිරීමට නියමිත වේ. ඒ අනුව, 'ශ්‍රී ලංකා සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය' දෙවන වරටත් 2018 ඔක්තෝබර් මාසයේදී කොළඹ දී පැවැත්වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.