• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපා සංවිධානය (CERN) සමඟ සහයෝගිතාවන්ට එළඹීම
- උච්ච ශක්ති භෞතික විද්‍යාව (high energy physics) සහ ඊට අදාළ උසස් තාක්ෂණික විද්‍යාත්මක අත්හදා බැලීම්හි නිරතව සිටින ආයතනයක් වන න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපා සංවිධානය (European Organization for Nuclear Research - CERN) සමඟ ශ්‍රී ලංකාව විසින් 2017 මැයි මාසයේදී සහයෝගිතා ගිවිසුමකට එළඹනු ලැබ තිබේ. මෙම සහයෝගිතාව හරහා එම සංවිධානයේ විද්‍යාගාර වෙත ප්‍රවේශ වීමටත්, එම සංවිධානය හා සම්බන්ධ රටවල් 77ක පමණ විද්‍යාඥයන් සමඟ සම්බන්ධතා ‍ඇති කරගැනීමටත් මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හා විද්‍යාඥයින්ට අවස්ථාව සැලසෙනු ඇති අතර, එම දැනුම මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙත හා දේශීය කර්මාන්තවල ප්‍රගතිය පිණිස ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව, ඊ‍ට අදාළ ඉදිරි සහයෝගිතාවන්ට එළඹීම සහ එහි ඉදිරි වසර 05ක කාර්යයන් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 250.45ක ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.