• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පුද්ගලයින් සඳහා තවදුරටත් නිවාස කුලී දීමනාව ලබා දීම
- පසුගිය මැයි මස අගභාගයේ ඇතිවූ ගංවතුර, නායයෑම් හා සුළිසුළං තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ අතර, එහිදී සිය නිවාස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පවුල් සහ නායයෑම් අධිඅවදානම හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල්වලට තාවකාලිකව කුලී නිවාසවල පදිංචි වීමට හැකියාව ලැබෙන පරිදි එක් පවුලකට මසකට රුපියල් 7,500/- බැගින් වූ නිවාස කුලී දීමනාවක් මාස 03ක කාලයක් සඳහා ලබා දීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්වූ පවුල් 3,584ක් සඳහා 2017 ජුනි, ජූලි හා අගෝස්තු යන මාස වෙනුවෙන් එම නිවාස කුලී දීමනාව ලබා දෙනු ලැබ ඇත.

එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින අතර, එම කටයුතු සම්පූර්ණ කෙරෙන තෙක් එකී පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව තවත් මාස 03ක කාලයක් සඳහා ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.