• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා කෙටිකාලීන විසඳුම් ලබා දීම
- සෑම දුම්රිය හරස් මාර්ගයක් සඳහාම විධිමත් ආරක්ෂාවක් සැලසීම රජයේ ප්‍රතිපත්තියයි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා සීනුව හා ආලෝක සංඥා සහිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමට රජය විසින් කටයුතු කෙරෙමින් පවතින අතර, එම කටයුතු අවසන් වන තෙක්, දුම්රිය හරස් මාර්ගවල සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන් යෙදවීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත්වීමෙන් සේවයේ යොදවනු ලැබ ඇති ගේට්ටුකරුවන් විසින් මෙහෙය වනු ලබන දුම්රිය හරස් මාර්ග 687ක් දැනට රට පුරා පවතියි. එකී එක් ගේට්ටුවක් සඳහා ගේට්ටුකරුවන් තිදෙනෙකු බැගින් සේවයේ යොදවනු ලැබ ඇති අතර, එලෙස සේවයේ යොදවනු ලැබ ඇති එක් අයෙකුට මාසිකව රුපියල් 7,500/-ක දීමනාවක් ගෙවනු ලැබේ. එසේ වුවද, මෙම දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පසුගිය කාලය තුළ සැලකිය යුතු ගේට්ටුකරුවන් සංඛ්‍යාවක් සේවය අතහැර ගොස් ඇත.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස, දුම්රිය හරස් මාර්ගයන්හි ආරක්ෂාව දවස පුරා සැලසීමේ වගකීම පවුලක නිශ්චිත සාමාජිකයෙකුට පැවරෙන පරිදි එම ආරක්ෂක ගේට්ටු හැසිරවී‍මේ කටයුතු සුදුසු සමෘද්ධිලාභී පවුල් වෙත පැවරීමටත්, ඒ වෙනුවෙන් එක් ගේට්ටුවක් සඳහා රුපියල් 22,500/-ක මාසික දීමනාවක් බැගින් එක් පවුලක් වෙත ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.