• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශසීමා හරහා සිදු කරනු ලබන විවිධ අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- මිනිස් ජාවාරම සහ දේශසීමා ඉක්මවන අනෙකුත් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැනට පවත්නා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හා ප්‍රව‍ර්ධනය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. මෙමඟින් මිනිස් ජාවාරම වැළැක්වීම, නීතිවිරෝධී භාණ්ඩ සංසරණය වැළැක්වීම, දේශසීමා කළමනාකරණය, දේශසීමා හරහා සිදු වන අපරාධ වැළැක්වීම සම්බන්ධව කලාපීය හා බහුපාර්ශ්වීය කැපවීම වර්ධනය කිරීම, මුදල් විශුද්ධිකරණය තුළින් ලබාගන්නා මුදල් උපයෝගී කරගනිමින් මිනිස් ජාවාරම් හා දේශසීමා ඉක්මවන අනෙකුත් අපරාධ සිදුකිරීම වැළැක්වීම ආදී ප්‍රතිලාභ දෙපාර්ශ්වයටම අත් වනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආගාමික හා දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.