• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
- 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2017 සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා පදනම් කර ගනිමින් 2018 - 2020 මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා සලසා ගත හැකි මුළු සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරය විසින් මෙම අයවැය ඇස්තමේන්තු සකස් කරනු ලැබ ඇති අතර, අමාත්‍යාංශ සහ පළාත් සභා සමඟ පවත්වන ලද අයවැය සාකච්ඡාවලදී මතු වූ කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කර ඇත.

ඒ අනුව, 2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එම මුදලෙන් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1ක් වන බැවින් එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන 1,977ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මඟින් බලය ලබා ගත යුතු වේ. එයින් 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තු ගත කර තිබේ. තවද, 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 6ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් ණය වශයෙන් ලබා ගත යුතුව තිබේ.

මෙම කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.