• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) දේශීය කාර්යාලය ස්ථාපනය කිරීම
- එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ආයතනයක් වන කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (International Fund for Agriculture Development) සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම වෙනුවෙන් කැප වූ ආයතනයකි. 1978 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙන ලද එම සංවිධානය වර්තමානයේද විවිධ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය සහාය ලබා දෙයි.

එම අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන සිය මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා දේශීය කාර්යාලයක් විවෘත කිරීමට අදහස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම අරමුදලේ දේශීය කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.