• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර ඇති කරගැනීමට යෝජිත ශ්‍රමබල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ලෙබනනයේ සේවය කරනු ලබන අතර, 2017 වර්ෂය තුළදී පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින් 1,593 දෙනෙකු ලෙබනනයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. ඔවුන්ගෙන් 79%ක් පමණ ගෘහ සේවක රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. ලෙබනනයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සුබසාධනය අරමුණු කර ගෙන ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර ශ්‍රමික බල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙරට අතර එකඟතාවක් ඇති කරගනු ලැබ තිබේ.

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් ලෙබනනයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමේ පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, එම ශ්‍රමිකයින් සඳහා සුරක්ෂිත සේවා පරිසරයක් ඇති කිරීම ආදී සාධනීය පියවර ගැනෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසු‍මට දෙරට අතර අත්සන් තැබීම පිණිස අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.