• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017/2018 මහ කන්නය සඳහා බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහන
- සාමාන්‍ය මහ කන්නයකදී මෙරට කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8ක පමණ වී වගාව සිදු කෙරෙන අතර, ඒ සඳහා බීජ වී බුසල් ලක්ෂ 40ක් පමණ භාවිතා කෙරේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2017/2018 මහ කන්නයේදී බීජ වී හිඟයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා අනෙකුත් ආයතන සමඟ එක්ව පැළවීම සහතික කළ බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, 2017 යල කන්නයේ සාර්ථකව වී වගා කරන ලද ප්‍රදේශවල බීජ වී වගාවන්ගෙන් හා පාරිභෝගික වගාවන්ගෙන් ගුණාත්මකභාවයෙන් යුත් උසස් බීජ වී බුසල් 560,000ක් කඩිනමින් ලබාගෙන, බීජ වී හිඟ ප්‍රදේශවල ගොවීන් වෙත අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, පසුගිය කන්නයේ තද නියඟයට ගොදුරු වූ දිස්ත්‍රික්කවල අස්වැන්න හානිවීමට ලක් වූ ගොවීන් වෙත, වටිනාකමෙන් 50%ක් පමණක් අය කරගෙන එම බිත්තර වී අලෙවි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.