• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චිය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ඉදි කිරීම
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන, කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා-ජර්මානු පුහුණු ආයතනය (SLGTI) 2016 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, දැනට සිසුහු 200ක් පමණ එහි NVQ 4,5 සහ 6 මට්ටමේ පුහුණු පාඨමාලා හදාරති. එහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 57%ක් පමණ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් බැහැරව පිහිටි දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වේ. මෙම පුහුණු ආයතනයේ දැනට පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් වන්නේ සිසු සිසුවියන් 144 දෙනෙකුට පමණක් වන අතර මෙම වර්ෂයේදී තවත් සිසුන් 400 දෙනෙකු පමණ මෙහි පුහුණු පාඨමාලා සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බැවින් එම නේවාසික පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ.

ඒ අනුව තවත් සිසුන් 400ක් සඳහා නේවාසික පහසුකම් සැලසීමට හැකි වන පරිදි කිලිනොච්චිය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය සඳහා නව නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.