• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- ආඝාතය වැඩිහිටි ආබාධිතතාවය සඳහා ප්‍රධාන හේතුවක් වන අතර එය මෙරට රෝහල් පද්ධතිය තුළ වාර්තා වන මරණ සඳහා වන හතරවන ප්‍රධානතම හේතුව වේ. නිසි ප්‍රතිකාර හා පුනරුත්ථාපන පහසුකම් මගින් ආඝාතය රෝගය සුව කළ හැකි නමුත්, නිසි පහසුකම් සහිතව වැඩිදියුණු කරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකයක් දැනට පවතින්නේ රාගම පුනරුත්ථාපන රෝහලේ පමණි.

එබැවින්, ආඝාත රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ස්නායුවේද, රක්තවාතවේද, භෞතචිකිත්සා හා පුනරුත්ථාපන යන ඒකකද ඇතුළත්ව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය සංවර්ධනය කිරීම සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 348ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.