• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය
- ක්‍රීඩාව ගමට ගෙන යාම තුළින් තරුණ පරපුරේ ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කර ඔවුන් ජාත්‍යන්තර මට්ටම කරා ගෙන යාම රජයේ අරමුණයි. ඒ සඳහා දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 'පළාත් ක්‍රීඩා සංකීර්ණ' ඉදි කිරීමටත්, එම පළාත් ක්‍රීඩා සංකීර්ණ පිහිටුවනු ලබන දිස්ත්‍රික්ක හැර ඉතිරි දිස්ත්‍රික්ක 16 ආවරණය වන පරිදි 'දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ' ඉදි කිරීමටත්, රජය කටයුතු කරමින් සිටින අතර ඉන් වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇත. තවද, මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණ සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා දිය යුතුව ඇති අතර පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයන්ට දුරස්ථව පිහිටි ප්‍රදේශවල පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සැපයිය යුතුව තිබේ.

ඒ අනුව, පොළොන්නරුව, කිලිනොච්චිය, කුරුණෑගල, බදුල්ල, දිගන, රත්නපුර, මාතර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පිහිටි පළාත් ක්‍රීඩා සංකීර්ණ 08 ආශ්‍රිතව වරකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට නේවාසික පහසුකම් ලබා දිය හැකි නේවාසිකාගාර 08ක් රුපියල් මිලියන 1,087ක‍ ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයන්ට දූරස්ථව පිහිටි ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාර 06ක් රුපියල් මිලියන 1,050ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.