• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරවෙල ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමඟ ඉදි කිරීමේදී ඇති වූ ජල කාන්දුව හේතුවෙන් සිය ළිංවල ජලය අඩුවීම හා සිඳීයාම නිසා බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 2,000කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇත. මේ හේතුවෙන් මීට පෙර සිය ළිංවල ජලය භාවිත කළ පවුල් නළ ජල පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, ඊට සමගාමීව බණ්ඩාරවෙල ජල සම්පාදන යෝජනා ක්‍රමය එහි ධාරිතාව ඉහළ නංවමින් වැඩිදියුණු කළ යුතුව තිබේ.

ඒ අනුව, ආපදාවට ලක්ව ඇති එගොඩගම, වෙහෙරගලතැන්න, උඩපේරුව, කිණිගම, හීලොය යන ප්‍රදේශද ආවරණය වන පරිදි නළ ජල සම්බන්ධතා 1,000ක් පමණ අලුතෙන් ලබා දීමට ඇකි වන පරිදි බණ්ඩාරවෙල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ධාරිතාව, දිනකට ජලය ඝන මීටර 2,000ක අතිරේක පරිමාවකින් වැඩි කිරීම පිණිස වූ ව්‍යාපෘතියක්, රුපියල් මිලියන 225ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.