• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ මායිම් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කිරීම
- අංක 1956/13 දරන 2016-03-01 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය මඟින් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, හෙක්ටයාර 29,180ක භූමි ප්‍රදේශයකින් සමන්විත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය, ශ්‍රී ලංකාව තුළ පිහිටි ඉතා වැදගත් කඩොලාන පද්ධතියක් සහිත ස්වාභාවික තෙත්බිම් ප්‍රදේශයකි. මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයන ආදායම 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට සැලසුම් කර ඇති විවිධ ව්‍යාපෘති අතරින් මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 'ජලජීවී වගා කර්මාන්තපුරයක්' ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන වේ. එම ව්‍යාපෘතිය සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති හෙක්ටයාර 1,491ක භූමි ප්‍රමාණය, වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය තුළ පිහිටා තිබීම හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇත.

ඒ අනුව, විධිමත් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදු කර එහි ප්‍රතිඵලවලට යටත්ව සහ වනසත්ත්ව‍ හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුකූලව, යෝජිත ජලජීවී වගා කර්මාන්තපුරය ස්ථාපනය කිරීම පිණිස හඳුනාගනු ලැබ ඇති භූමි ප්‍රමාණය වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ සීමාවෙන් ඉවත් කර එම රක්ෂිතයේ සීමාවන් නැවත ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.