• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර සහ නැගෙනහිර වෙරළ ඔස්සේ වැලි ප්‍රවාහය ගමන් කිරීම (Long shore Sediment Transport - LST) අධ්‍යයනය කිරීම
- කොළඹ සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝමීටර 370ක පමණ දිගින් යුතු ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර වෙරළ තීරය, සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබෙන ආදායමෙන් 75%ක් සහ ධීවර කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් 50%ක් උත්පාදනය කෙරෙන ඉතා වැදගත් ආර්ථික කලාපයක් වේ. නිරිතදිග මෝසම් සුළඟට නිරාවරණය වී ඇති මෙම වෙරළ තීරය, අහිතකර කාලගුණික තත්ත්වයන් නිසා ඇතිවන හදිසි ඛාදනයන්ට හා දීර්ඝකාලීන ක්ෂයවීම්වලට ලක් වේ. එමෙන්ම, සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ද සුළි සුළං, කුණාටු හා දීර්ඝකාලීන වෙරළ ඛාදනය වැනි ආපදා තත්ත්වයන්ට ගොදුරුවීමේ නැඹුරුවක් පවතී.

මෙම වෙරළ තීරයන් ආශ්‍රිතව සිදුවන වෙරළ ඛාදනය බරපතළ ආර්ථික, සමාජ හා පාරිසරික ගැටලු ඇති කිරීමට හේතු වේ. එමෙන්ම, මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම හා වෙරළ ඛාදනය වේගවත් කරන අනෙකුත් ස්වාභාවික ව්‍යසන ඇති වන අවස්ථා ගණන හා ඒවායේ තීව්‍රතාව වැඩි වන බවක් පෙන්නුම් කිරීම නිසා ඉන් බලපෑමට ලක්වන වෙරළ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව මෙන්ම ඒ ආශ්‍රිතව සිදු කෙරෙන සංවර්ධන කාර්යයන්ද තර්ජනයට ලක්වේ. එබැවින් ශ්‍රී ලංකාවේ නැ‍ඟෙනහිර, බටහිර හා දකුණු වෙරළ තීරයන් ඵලදායී ලෙස කළමනාකරණය සඳහා උපාය මාර්ග සකස් කිරීම පිණිස වෙරළ ඛාදනයට ප්‍රධාන වශයෙන් හේතුවන වෙරළ ඔස්සේ අවසාදිත / වැලි ප්‍රවාහය ගමන් කිරීමේ (Long shore Sediment Transport - LST) ශීඝ්‍රතාව පිළිබඳ ගණනය කිරීමේ අධ්‍යයනයක් සිදු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.